හොඳම යෙහෙලිය

 



රැකියාවට ඇවිත් වසර දෙකකට විතර පස්සේ මම මන්නාරමට යනවා වසරක දුෂ්කර සේවා කාලය සම්පූර්ණ කරන්න. රෝද හයි කරලා තියෙන මහ ලොකු සූට් කේස් එකකුත් අරගෙන ගිණි ගහන අව්ව බැහැගෙන යන වෙලාවේ මම උන් හිටි තැන් අහිමි වෙච්ච සරණාගතයෙක් වගේ බෑග් එකත් උස්සගෙන ඇතුල් උනා අලුත් කාර්යාලේ ගේට්ටුවෙන් ඇතුලට. උස්සගෙන කිව්වට උස්සන්න බැරි තරම් බර බෑග්⁣ එක අසමතුලිත පොලොවේ උනත් මම ගියේ රෝද වලින් ඇදගෙන. ගේට්ටුව ඇරගෙන ඇතුල් වෙනකොට පොඩ්ඩක් එහායින් වෙන්න මිදුල අතු ගගා ඉන්නවා ගෑණු ළමයෙක්. එක පාරක් මගේ දිහා බලාන ඉඳලා ආපහු ඉදල ඇරන් අතුගාගෙන අතුගාගෙන යනවා මට පස්ස පැත්ත හරවගෙන.

යන්න එන්න තැනක් දන්නේ නැතුව වට පිට බලන කොට හිටපු පිරිමි කෙනෙක්ට මම ආපු කාරණය පැහැදිළි කලාම ඒ මනුස්සයා යාන්තම් මට නතර වෙන්න තියෙන තැන ඇඟිල්ල දික් කරලා පෙන්නුවා. නුහුරු නුපුරුදු පලාතක, අමුතු ගති පැවතුම් තියෙන මිනිස්සු කොට්ඨාසයක් එක්ක තනි උනා වගේ හැඟීමක් මට එකපාරම ඇති උනා. මෙනවා උනත් දැන් බැඳගත්ත බෙරේ ගහන්න ඕන නිසා හැම දේම අමතක කරලා ඇඟපත හෝදගෙන කලින්ම නින්දට ගියේ පහුවදා උදේ නුපුරුදු පරිසරයක වැඩ කරන්න වෙනවා කියන කුකසත් හිතේ තියාගෙනමයි.

උදේම ඇඳ පැළඳ ගෙන එතනම එහා පැත්තෙන් තියෙන ඔෆිස් එකට මම යනකොට හැමෝම බලන්නේ නිකන් අමුතු සතෙක් දිහා බලනවා වගේ. හරිම නුහුරු ගතියක්, ලැජ්ජාවක් වගේ ගතියක් හිතට ආවත් ඒ මොකුත් පෙන්නන්නේ නැතුව ගිහින් පළවෙනි දවසේ රාජකාරියට වාර්ථා කලා. මට වැඩ කරන්න තියෙන සෙක්ෂන් එකේ කෙනෙක් ඇවිත් මාව එක්කන් ගියා. හත් අට දෙනෙක් විතර හිටිය එතන එක එක්කෙනාගේ මූණු දිහා මම සැරෙන් සැරේට බැළුවා. ඔහොම යන අතරේ එක මූණක් ළඟ මගේ ඇස් දඩස් ගාල නතර උනා.

“අතු ගගා හිටපු පන්ඩිත කෙල්ල. ශික්, ඒකිත් මෙතනද ?” මට හිතුනේ එහෙම.

නිදහසේ හිටපු තැනට මහා ඇණයක් කඩා පාත් උනා වගේ හැඟීමක් ඒ මූණේ තිබුනා. අනිත් මූණු වලත් “මේකා මොකෙක්ද දන්නෑ" කියනවා වගේ හැඟීමක් ගැබ් වෙලා තිබුනා. කර කියාගන්න දෙයක් නැතුව කට්ටිය ඉස්සරහා අතරමං වෙලා වගේ ඉද්දී අජිත් අයියා ඉදිරිපත් වෙලා පළවෙනි ප්‍රශ්නෙ ඇහුවා.

“කොහෙද මචං ගෙවල් ?”

“නුවර”

“නම ?”

මම නම කීවෙමි.

“මේ හෂිනිගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එයාට කොල්ලෙක් පේන්න බෑ.”

“අනේ නිකන් යන්න අජිත් අයියේ, මට එහෙම අමාරුවක් නෑ”

ඒ එයාගෙ කටහඬ මට ඉස්සෙල්ලම ඇහුණු වෙලාව. එතන ඉඳන් අපි දවසේ වැඩ පටන් ගත්තා.

එයා හැමෝමත් එක්ක හිනා වෙවී විහිළු කර කර වැඩ කරනවා. ඒත් මට හිනා වෙන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ. මම කතා කරන්න ගියෙත් නෑ. මොන උර චක්කර මාලයක්ද දන්නේ නෑ. අනික පන්ඩිත කෙල්ලොත් එක්ක කොහොමත් මගේ ගනුදෙනුවක් නෑ.

පැය දෙක තුනක් ඔහොම වැඩ ටික කරගෙන යන අතරේ එක පාරටම,

“අයියේ.. ඔයාට ටයිපිං පුළුවන් ද”

“ම්… අවුලක් නෑ පුළුවන්”

“මම මේ ටික ඉවර කරගන්නකන් ඔයාට මේක ටයිප් කරලා දෙන්න පුළුවන් ද”

සැබවින්ම මට මහ ලොකු වැඩක් තිබුනේ නැත. වැඩක් නැතිව ඇති වූ ආතතියෙන් පෙලෙමින් සිටිය දී වැඩක් ලබා දීම සම්බන්ධයෙන් මම හිතින් ඇයට තුති පිදුවෙමි. ලයාන්විත හා අයාචනාත්මක ඒ ආමන්ත්‍රණය ක්ෂනිකව මාව මෘදු මොලොක් මිනිසකු කිරීමට සමත් විය. ටික වෙලාවක් යන විට අප එකිනෙකා පිළිඹඳව ක්‍රමයෙන් අඳුන ගතිමු. සවස් භාගය වන විට අවුරුදු ගණනක සිට හඳුනන මිතුරන් තරමට අප හිතවත් විය.

හෂිනි.. මට හමු වූ විශ්වාසවන්තම මිතුරිය ඇයයි. ඕනෑම දෙයක් කාටවත් කියන්න එපා යැයි පැවසුවහොත් ඇය කටින් කෙල බිඳක් හලන්නේ නැත. ඇතැම් කාන්තාවන් තුල මෙන් ඉරිසියාව, කුහකකම වැනි ගුණාංග ඇය තුල නැත. යමක් කිරීමට තවකෙකු පැමිනෙන තුරු බලා සිටින්නේ ද නැත. මා මුලින්ම සේවයට පැමිණි දින කම්කරුවකු නොවූ හෙයින් ඇය මිදුල අතු ගෑවේද ස්වේච්චාවෙන්මය.

ඕනෑම අයකුගේ අමතක වී යන රාජකාරී කටයුත්තක් මතක් කරන්නේ ඇයයි. උපන්දින සාදයක් පැවැත්වීමට නියමිතව තිබුනොත් ඊට අදාල කටයුතු සංවිධානය කරන්නේ ඇයයි. කොටින්ම ගොඩනැගිල්ලේ බිත්තියක තීන්ත ගෑමට සූදානම් වුවහොත් මේසයක් දමා මුලින්ම එයට ගොඩවන්නේ ද ඇයයි. මේ සියළු කටයුතු සහ ඇගේ ආදරණීය සහ ලෙංගතු කතා බහ මාව ඇයට තවත් සමීප කිරීමට සමත් විය.

මාස දෙකක කාල සීමාවක් සඳහා “ඔෂිකා” කාර්යාලයට පැමිණෙන්නේ මේ අතරය. වැඩ අවසන් කරගැනීමට නොහැකි වූ ලිපිගොනු තුනක කටයුතු අවසන් කරගැනීම සඳහා ඇය භාර වෙන්නේ මා වෙතය. හෂිනි, ඔෂිකා අප සියල්ල එක තැනක සේවය කලත් මා සමඟ නිතරම එකට සිටින්නේ ඔෂිකා ය. ඇයත් මාත් කරන්නේ එකම කටයුත්තකි. විටෙක ඇය කියන විට මම ටයිප් කරයි. මම කියවන විට ඇය ටයිප් කරයි. දිනක් යම්කිසි පුද්ගලයෙකුගේ පුද්ගලික විස්තර යතුරු ලියනය කරමින් සිටින අවස්ථාවක ඇය,

“දුරකථන අංකය, බින්දුවයි හැත්තෑ හතයි ##### යි”

මම යතුරු ලියනය කරමින් ගියෙමි. හුරු පුරුදු අංකයකි. ගොනුවට අදාල පුද්ගලයාගේ අංකය වෙනුවට ඇය කටපාඩමින් පැවසුවේ මගේ දුරකථන අංකයයි. මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇය ජයග්‍රාහී හිනාවක් පෑවාය. මද සිවක් පෑ මම යලි එම කොටස මකා දැමුවෙමි. ඇය පුද්ගලික විස්තර ගොනුවෙන් මගේ අංකය ලබා ගන්නට ඇත. නිතර මුකුළු පාමින් සිටි ඈ මගේ දුරකථන අංකය ද පැවසූ පසු මට ඉතිරි කොටස සිතා ගැනීමට අපහසු නොවීය.

එදින සවස ඇය මට දුරකථනයෙන් ඇමතුවා ය. දෙබස් වශයෙන් ලිවීමට තරම් අමුතු දෙයක් ඇය කීවේ නැත. මා ගැන ඇයට හිතෙන දේ පවසා ඇය මට ආදරය කරන බව කෙලින්ම පැවසුවා ය. ඇය මට කැමැත්තෙන් සිටින බව හැඟී තිබුනු නමුත් මෙලෙස එකවර එය ප්‍රකාශ කරනු ඇතැයි මා සිතුවේ නැත. අප කෙතරම් උසුළු විසුළු කරමින් එකට සිටියත් මට ඇය ගැන ප්‍රේමයක් පහළ උනේ නැත. ඒ කිසිවක් නොපවසා මා තවම ආදරයක් ගැන සිතන්නේ නොමැති බවත්, ඊට පෙර සම්පූර්ණ කරගත යුතු ඉලක්ක කීපයක් ඇති බවටත් අමු බොරුවක් කීවෙමි. ඇයට, ඇය ගැන හීනමානයක් ඇති නොවන පරිදි මම සවිස්තරාත්මකව එම බොරුව පැහැදිලි කලාය. ඇය එයට අවනත වූ නමුත් දින ගණනක් දුරකථනයෙන් මා සමඟ කතා කලාය. කාල සීමාව අවසන්ව ඇය පිටව ගිය පසු එය ද නතර විය.

ඇය මට ප්‍රේම කරන බව හෂිනි ට කියා තිබුනි. එවිට හෂිනි පවසා ඇත්තේ,

“මම මැරි කරන්න නොහිටියා නම් අයියව උඹට කවදාවත් අයිති වෙන්න දෙන්නේ නෑ” කියාය.

එයට නම් මගේ හදවත ගැස්සී ගියේය. ඇය ඒ වන විට විවාහ වීමට නියමිතව සිටියාය. මගේ සිත තුල හෂිනි කෙරෙහි යම්කිසි හැඟීමක් තිබූ නමුත් එය ප්‍රේමයම දැයි මා දන්නේ නැත. ඇය තුලද එවැනි හැඟීමක් තිබී ඇති බව මට සිතුනේ එදාය. නමුත් ඇය මිතුරියක ලෙසින් හැර වෙනත් හැඟීමකින් මා දෙස බැලූ බවක් මට සිහි වන්නේ නැත. නමුත් ඇය මා වෙත බොහෝ ලෙංගතුව සිටියා ය. අප තරම් විහිළු කරමින් මහ හඬින් සිනාසී සතුටින් කාලය ගත කල අන් කිසිවෙක් එහි නොසිටි තරම් ය.

කාල සීමාව අවසන්ව මා නැවත කොළඹට පැමිණෙන දිනය වන විට ඇය නිවාඩු ගොස් සිටියා ය. වසර දෙකකට පෙර අකමැත්තෙන් පැමිණි ගමන අවසන් කර යාමට නියමිත මොාහාත වන විට එයටද මුහුණ දීමට අපහසුය. පෙර දින රාත්‍රියේ ඇයට ඇමතුමක් ගන්නා විට ඇමතුම කාර්ය බහුල වූ බැවින් මා නැවත ගත්තේ නැත. ඇගෙන් ආපසු මට ඇමතුමක් ආවේ ද නැත. පසු දින පාන්දර මන්නාරම - කොළඹ බසයට නැඟී මම මගේ හොඳම යෙහෙලියට කෙටි පනිවිඩයක් තැබුවේය.

“දවසක හමුවෙමු..
හමු වී හිනැහෙමු..
හිනැහී වැළපෙමු අපි ආයේ..”

එයට පිළිතුරු ඒමට දින දෙකක් ගත විය.

“අයියේ, මට ඔයාට කතා කරගන්න තියා මැසේජ් එකට රිප්ලයි කරන්න තරම්වත් හයියක් නෑ. ඔය කටහඬ ඇහුනොත් මට ඇඬෙයි. මම පස්සේ දවසක ඔයාට ගන්නම්. මගේ අයියා පරිස්සමින් යන්න. බුදු සරණයි.”

දෑස අගින් මෝදු වූ කඳුල මිතුදම වෙනුවෙන්ද, ප්‍රේමය වෙනුවෙන්ද, වචන වලට පෙරලිය නොහැකි වෙනත් හැඟීමක් වෙනුවෙන් දැයි මා දන්නේ නැත.

-හෝම්ස්-


Click Here To Comment On Telegram Channel - https://t.me/kathalokaya

Comments

Popular Posts