ඩේමියන්
මුලින්ම මම ඩේමියන්ව දැක්කෙ කොළඹදී සම්මුඛ පරීක්ශණයකට සහභාගි උන වෙලාවක හරියටම අවුරුදු 15කට කලින්. එයා ඇවිත් හිටියෙ පුහුණු මානව සම්පත් කළමනාකාර තනතුරට. මම ගියේ පුහුණු ගණකාධිකාරී තනතුරට. තිබුන සම්මුඛ පරීක්ශණ තුනේදිම ඩේමියන්ව මට මුණගැහුනා. සම්මුඛ පරීක්ශණයෙන් එයත් තේරිලා කියල දැනගත්තෙ සති දෙකක පුහුණුවක් සඳහා ප්‍රධාන කාර්‍යාලයට ගිය වෙලාවක එයාව ආපහු දකිනකොට.
ඩේමියන්ට තිබුනෙ හරිම කඩවසම් පෙනුමක් එක්ක කතාකරන ඇස් දෙකක්. අඩි හයක් විතර උස එයා දිහා අඩි පහක් උස මම බෙල්ල හරවලා බලද්දි කැඩිච්ච සිංහලෙන් බෙල්ල ගැලවෙයි කියල හිනාවෙන්න එයා පුරුදු වෙලා හිටියා. ඩේමියන්ගෙ අම්ම ලංකාවෙ ද්‍රවිඩ ජාතික කාන්තාවක් පියා ඇමෙරිකානු ජාතිකයෙක්. ඒ නිසාම එයාට තිබ්බෙ හරි ලස්සන පාටක්. ඒ වගේ ලස්සන පිරිමියෙක් මට ඊට කලින් මුණගැහිලා තිබුනෙ නෑ.
කොළඹ හිටිය සති දෙකට මම එයාගෙ හොඳ යාලුවෙක් උනා. මම ඇන්දෙම නිල්පාටට හුරු සාරි නිසායි මගෙ නම නිසායි එයා මට කිව්වෙ නිල් කියලා. එයා හිටියෙ ආච්චි ලඟ නිසා හැමදාම ගෙනාවෙ ද්‍රවිඩ ජාතිකයන්ගෙ කෑම. මම ඉඩ්ලි කන්න ආසයි කියලා දැනගත්ත දවසෙ ඉඳන් මගේ පුහුණුව ඉවර වෙනකන් මට ඉඩ්ලි ගෙනත් දුන්නා. අදටත් මම ආසම කෑමක් තමයි ඉඩ්ලි. ඒ වගේම ඉඩ්ලි එක්ක බැඳුන මතකෙටත් හරිම ආසයි.
ඩේමියන්ට ඒ වෙද්දි ප්‍රංශ, ඉංග්‍රීසි, දෙමල, ජර්මන් භාශා චතුර ලෙසත් සාමාන්‍ය තරමෙන් සිංහලත් පුලුවන්ව තිබුනා. ඩේමියන්ගෙන් වෙන් වෙද්දි හිතට දුකක් පාලුවක් දැනුනත් ඒක එයාට එහෙම උනාද කියල මම දැනගෙන හිටියෙ නෑ. ඒත් වෙන් උනාට පස්සෙ ඒ දවස්වල මට තිබුන යාහූ ඊමේල් එකට පණිවිඩ එවලා උදේට ගුඩ් මෝනිං කියන්නත් රෑට ගුඩ් නයිට් කියන්නත් එයා පුරුදු වෙලා හිටියා. අපි ගොඩක් හොඳ යාලුවෝ උනා. එයාගෙ ආච්චිත් මට කතා කරා. කවුරුහරි නුවර එනවනම් ඉඩ්ලි හදල එවන්න අමතක කරේ නෑ.
අවුරුද්දකට පස්සෙ එයා ඇමෙරිකාවට ගියා. හැමදාම එන සුබ පැතුම සතියකට සැරයක් එන්න ගත්තා. ඒත් පුරුද්දට වගේ ඊමේල් හැමදාම බලන එක නතර උනේවත් එයාට සුබ පතන එක නතර උනේවත් නෑ. අන්තිමේදි ආච්චිගෙ ඇමතුමවත් ඩේමියන්ගෙ ඊමේල් පණිවිඩයවත් නොලැබී මාස තුන හතරක් ගෙවිලා ගියා. ආච්චිව සම්බන්ධ කරගන්න උත්සාහ කරත් පුලුවන් උනේ නෑ. ඒ අතරෙ මට ගෙදරින් මනමාලයෝ හෙව්වා. මම යාහූ වලින් ජීමේල් වලට මාරු උනා. ජීවිතේ වෙනස් උනා වගේම මම විවාහ උනා. මට ඩේමියන්ව අමතක උනාද අමතක කරාද කියන්න මම දන්නෙ නෑ.
ඩේමියන්ව ආයෙ මතක් උන සිදුවීමක් ලඟදි දවසක ආයෙම සිදුවුනා. ඒත් පරණ යාහූ ඊමේල් එක බලන්න හිතුනෙ ඇයි කියන්න මම දන්නෙ නෑ. ඩේමියන්ගෙන් මගඇරුනු මේල් 2295ක් තිබුනා. අන්තිම එක එවලා තිබුනෙ 2020 සැප්තැම්බර්. එයා මං වෙනුවෙන් බලාගෙන හිටියත් එයාගෙ ද්‍රවිඩ අමෙරිකානු සම්භවය නිසා හමුවුන මුල් කාලෙ කියන්න බැරි උනා කියලා තිබුනා. ඒත් එක දවසක එයා මට ආදරෙයි කියල ලියල එවලා තිබුනා. එයාගෙ ආච්චිත් මට කැමති වෙලා හිටියා කියලා තිබුනා.
එයාගෙනුයි ආච්චිගෙනුයි පණිවිඩ ආවෙ නැත්තෙ ඒ කාලෙ එයාගෙ ආච්චි නැති වෙලා තිබුන නිසා. එයා ලංකාවට ඇවිත් මගේ පරණ කාර්‍යාලයට ගිහින් තිබුනා. ඒ වෙද්දි මම ලංකාවෙවත් හිටියෙ නෑ. ඩේමියන්ගෙ සම්භවය විතරක් නෙවෙයි එයා මට වඩා අවුරුදු 3ක් බාල එකත් එයාට ප්‍රශ්නයක් නොවුනට මම හැදුනු පරිසරයට ප්‍රශ්නයක් වෙන්න තිබුනා. ඔය කාලෙ ඇතුලත කීප සැරයක් යාහූ එකට ලොග් උනත් මම කවදාවත් ඩේමියන්ගෙ ඊමේල් දැක්කෙ නැත්තෙ යාහූ ඊමේල් එක පවත්වාගෙන යන්න පමනක් ලොග් උන නිසාත් කවදාවත් ඒකෙ තිබ්බ ඊමේල් චෙක් කරන්න උවමනාවක් තිබුනෙ නැති නිසාත් වෙන්න ඇති.
ඩේමියන් අද ඇමෙරිකාවෙ විශ්ව විද්‍යාලයක ආචාර්‍ය වරයෙක්. නොදැනුවත්වම උනත් අපි දෙන්නම තෝරගෙන තිබුනෙ එකම පාරවල්. තාමත් ඒ වගේම කඩවසම්. අන්තිම මේල් එකට හෙලෝ කියල ලියල යවන්න හිතුන ඊයෙ රෑ. පැයක් ඇතුලත පිලිතුරක් ආව "ඔයාගෙ ෆැමිලි එක ලස්සනයි, බබාලගෙයි හස්බන්ඩ්ගෙයි ෆොටෝ එකක් එවන්න. මට එවන්න ෆැමිලි එකක් නෑ, මගෙ හිතේ හිටපු එයා මතකෙ විතරක් තියලා වෙන තැනක කූඩු වෙලා" කියලා සිංහලෙන්ම.
මට මේකත් ලියන්නම හිතුනා මල්ලි කෙනෙක් අහපු ප්‍රශ්නයක් නිසා. එයා මං ගැන හොයන්න ඇති. ඒත් පුරුද්දට ඊමේල් කරන්න ඇති. එයා දැනගන්න ඇතිනෙ මම විවාහකයි කියලා. ඒ නිසා මම කවදාහරි රිප්ලයි කරයි හෝ නොකරයි කියලා බලාපොරොත්තු වෙන්න නැතුව ඇති. සමහරු දේවල් කරන්නෙ පුරුද්දට.
කතෘ- අශේන් දිනුත්
ස්තූතියි.....
Comments
Post a Comment