ලස්සනම පිරිමියා


 ජීවිතේ ඔබ දැකපු ලස්සනම පිරිමියා කවුද? මේ ප්‍රශ්නය මගෙන් ඇහුවෙ විනෝද චාරිකාවක් ගිහින් ඉන්න අතරෙ කරපු ක්‍රීඩාවකදි.


උඩ ගිහින් බිම වැටුණා.


ඇස් කෙලින්ම ඉන්නෙ සැමියා. අනිත් හැමෝම බොහෝ කාලයක් ඇසුරු කරන යාලුවෝ සහ පවුල් එතන පිරිවරං හිටියා.


" වෙන කවුද ඉතිං මේ ඉන්නෙ" එක් යාලුවෙක් සැමියා පෙන්නුවා.


" බොරු නෙවෙයි ඇත්තම කියන්න ඕන " සංවිධායක නෝනා කිව්වා.


ඇත්තටම ප්‍රශ්නය කියවනකොටම ඒ කඩදාසිය තුළින් එක්වරම මතු උනා රුවක්. ඔව් ඒ තමයි මම මේ ජීවිතය පුරාවට දැකපු ලස්සනම තරුණයා.


මං කටහඬ අවදි කළා. හැමෝම මගේ උත්තරය දිහා බලං ඉන්නවා.


" මං ජීවිතේ දැකපු ලස්සනම කෙනා දැක්කේ පාසැලේ උසස් පෙළ පංතියේ ඉද්දි. ඒ කාලෙ මං සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ සාමාජිකාවක්. හැම සතියකම බ්‍රහස්පතින්දා හවස දෙකහාමාරට සාමාජික රැස්වීම තිබුණා. මං පාසැල ඇරිලා පිටකෝට්ටේ ඉඳලා බොරැල්ල බෞද්ධාලෝක මාවතේ බෞද්ධ සම්මේලනයට යනවා.

එක් දවසක් එහෙම යනකොට මං බස් රථයේ හිටගෙන ගියේ. බොරැල්ල ආයුර්වේද රෝහල පහුවෙලා පොඩ්ඩකින් බස් එකේ බෙල් එක වැදුනේ පිටිපස්සෙන්. ඉදිරිපස බලං උන්නු මං නිකමට වගේ පිටිපස්ස බැලුවා. පාපුවරුවේ උඩ පඩියේ හිටගෙන හිටියා මං ජීවිතේ දුටු ලස්සනම තරුණයා. සුදු පැහැ පාසල් නිළ ඇඳුමින් සැරසුනු ඔහුට තලෙළු පැහැයටත් වඩා කලු පාටට කිට්ටු පැහැයක් තිබුණා. ක්‍රේල් කොණ්ඩය පැත්තෙන් බෙදා පීරා තිබුණා. ඔහු මා දෙස බලා සිටියා. දිගු ලොකු සිනාසෙන දෑසකින් ඔහු බලා සිටියා. දෙතොල අපූරු මන්දස්මිතයකින් සැරසී තුබුණා. බොහෝ කාලයක් තිස්සේ දන්නා හඳුනන කෙනෙකු මෙන් ඔහු මා දෙස බලා සිටියා. මං හිතන්නේ මගේ මුහුණෙත් ඒ විදියම සිනාවක් ඇඳුනා කියලයි. ඔහු මිත්‍රත්වය හඟවන්න හිස වනමින් හිස ඇලකර දසන් දක්වා හිනාඋනා. මේ තාක් දුටු ලස්සනම මිනිසා ඒ මොහොතේ මා දුටුවා. බස් රථය කාසල් රෝහල අසල නතර කළා. ඔහු හිසින් සන් කරමින් බසයෙන් බැස ඉදිරියට යන ගමන් මා සිටි තැන කවුළුවෙන් නැවත මා දෙස බලා සිනාසුනා. මා කවුළුවෙන් බලා සිටිද්දී ඔහු කාසල් රෝහල තුළට ඇවිදගෙන ගියා. ඔහු වෛද්‍ය සිසුවෙක් වෙන්න ඇති මගේ හිත කිව්වා. එපමණයි. ඒ විනාඩි භාගය ජීවිතේ අමතකම නොවන විනාඩි භාගයක් බවට පත් උනා. ඊට පසුත් අවුරුදු එකහමාරක් මම බෞද්ධ සම්මේලනයට ඒ පාරෙන් ගියා. ඔහු හමුවනු ඇතැයි සිතමින් ගියා ඒත් මට නැවත කවදාවත් ඔහු හමු උනේ නෑ"


මං කතාව අවසන් කළා. හැමෝම මීයට පිම්බා වගේ නිහඬව හිටියා. ඒත් ඔවුන්ගේ අවස්ථාව ආ විට ඔවුනුත් තමා දුටු සැබෑවටම ලස්සන පුද්ගලයා ගැන හිනාවෙමින් කිව්වා.


දෙවන කොටස ( ඉහත චාරිකාවෙන් වසර හතකට පමණ පසු)


ආසිරි ශල්‍ය රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය චම්පා බානගල මහත්මිය හමුවීම සඳහා එක් උදෑසනක මං රෝහලේ බලං හිටියා. මගේ අංකය තුන.

එහෙම ඉන්නකොට එක් ඇසක් සම්පූර්ණයෙන් වසාගත් මහත්මයෙක් පැමිණියා.

ඔහු අසුන් ගත්තේ මගෙ යාබද අසුනේ.


" දැන් යන අංකය කීයද"


" තාම ඩොක්ටර් ආවෙ නෑ"


ඊට කලින් දා රාත්‍රියේ කොටි ත්‍රස්තවාදීන්ගේ කුරුම්බා ඇට්ටි මැෂින් නමින් හැඳින් වූ ගුවන් යානයක් කැළණිතිස්ස විදුලිබලාගාරයට බෝම්බ අතහැරියා. ලොකු හානියක් නොවුනත් යම් හානි එහි වී තිබුණා. එදා රෑ කොළඹ වැසියන් විදුලි පහන් නිවාගෙන භීතියෙන් අඳුරේ සිටියා. පහුවෙනිදාත් ඒ භීතිය පහව තිබුණේ නෑ.


මා අසල සිටි මහත්මයා මා සමගින් ඇස වසා ගෙනම මා හා කතා කළා. මගේ ඇසේ කෝටුවක් ඇනීම නිසා ඇතිවූ වේදනාව හා කැවීම හේතුවෙන් මා වෛද්‍යතුමිය හමුවීමට පැමිණියේ.


ඔහුගේ අනතුර අසා මා පුදුමයට පත් උනා. බෝම්බ වැටෙන වෙලේ ඔහු රාජකාරියේ යෙදී සිටි ස්ථානයේ කැඩුනු වීදුරුවකින් කුඩු කැබැලි ඔහුගේ ඇසට ගිය බවයි ඔහු කිව්වෙ.


ඉතිං වෛද්‍යතුමිය එනතෙක් බොහෝ සුහද කතා බහක් අපි අතර උනා. ඒ මොහොතේ ඔහුත් මාත් ඉගෙනගත් පාසල් ටියුෂන් පංති විවාහය සැමියන් බිරිඳ, රැකියා, යුද්ධය ආදි බොහෝ දේ කතා කළා . මං බෞද්ධ සම්මේලනයට ගිය පාරේ ඔහු ඔටර්ස් ක්‍රීඩා සමාජයට ඇවිද ගිය හැටි කිව්වා. ඔහුගේ මව කාසල් රෝහලේ ගණකාධිකාරිනියක් බැවින් සමහර දිනවල ඔහු මව හමුවී දිවා ආහාරය ගැනීමට ඒ දිනවල රෝහලට ගිය බව කීවා.


මට එක්වරම සිහින් කරන්ට් එකක් වැදුනා වගේ උනා. කාසල් රෝහල ළඟින් බසයෙන් බැසගිය කඩවසම් තරුණයෙකුගේ රුව එක් නිමේෂයකින් මතකයෙන් එළියට ආවා. මෙවර මා ඔහු දෙස බැලුවා ඒ පාට, මදක් අඩු නමුත් ඒ කොණ්ඩය, ඒ සිනාව ඇති මැදිවිය ආසන්න මිනිසෙක් ඒ දෙනෙතින් එක් ඇසක් වසාගෙන අනිත් ඇසින් මා දෙස බලා සිනාසෙමින් සිටියා.

එහෙත් මට ඒ ඔබ නේද අසන්නට කිසිම ශක්තියක් තිබුණේ නෑ. මා කතා කරමින් සිටි වේගය එක්වරම අඩු උනා. කටට වඩා සිත ක්‍රියාත්මක වෙමින් තිබුණා.


මං හිතන්නෙ ඔහුට වෙනස වැටහුණා.


කතාව වෙනස් කරන්න මට ඕන උනා.


" මං කියන්නම් දෙයක්. ඔයාට මගෙ අංකය දෙන්නම් . වීදුරු කෑලි තියං ඔහොම ඉන්න හොඳ නෑ නෙ . ඔයාගෙ අංකයට මං යන්නම්." මං කිව්වා.


ඇත්තටම ඔහු ලොකු වේදනාවක ඉන්න ඇති එකපයින් ඒකට කැමති උනා.


මගේ අංකයට ඔහු ඇතුළට ගියා. සෑහෙන වෙලාවකට පස්සෙ ඔහු එළියට ආවා. අතේ තිබුණු ටිෂූ එකක් පෙන්වා ඔහු කිව්වා ඇසෙන් ගත් වීදුරු කැබළි කිහිපයක් එහි ඇති බවත් හවස නැවත පැමිණිය යුතු බවත්. ඔහු මට ස්තූති කළා ඇසේ වේදනාව ඉක්මනින් අවසන් කරගැනීමට උදව්වීම සම්බන්ධව.

ඒ මොහොතේ ඒ දිගු දෑසින්ම මා දෙස බලා ඔහු හිනැහුනා. ඔව් ඒ ඔහුම තමා කියා මට හිතෙන්නත් පෙර ඔහු මෙසේ කිව්වා


" දම්පාට ටයි එක දාපු යුනිෆෝම් එක ඇඳන් සේනානායක හංදියෙන් බැහැලා බෞද්ධ සම්මේලනයට පයින් ගිය කොණ්ඩෙ දිග ළමයා ඔයා නේද.? ඔයා හමුවෙයි කියලා මං ඔටර්ස් එකට ඒ පාරේ සති ගාණක් ගියා. හමු උනේ නෑ ඒත් එක දවසක් ඔයාව දැකලා කතා කරන්න එනකොට එකපාරටම ඔයාගෙ පෙම්වතා ඇවිත් ඔයාගේ කොණ්ඩෙන් ඇදලා විහිලු කර කර ඔයා එක්ක බුලර්ස් රෝඩ් එක දිගේ ඇවිදගෙන ගියා. මං එහෙමම නැවතුනා. ඒත් ඔය දත් මැද තියන හිදැසත් ඔයාගේ හිනාවත් මට අමතක නෑ. සෞන්දර්‍යා ඔයාට තියෙන්නෙ ලස්සන නමක්."


එහෙම කියපු ඔහු යන්න ගියා. ( මං තවමත් කල්පනා කරනවා ඔහු මගේ පෙම්වතා බව සිතූ තරුණයා කවුද කියා. ඔහු වැරදි වැටහීමක් ඇති කරන්. මට ඒ කාලයේ පෙම්වතෙක් හිටියේ නෑ. )


ඔහු නැවත හමුවේවිද මන්දා. සමහර විට මේ සටහන ඔහුගෙ ඇස ගැටෙන්නත් පුලුවනි.


තාමත් මා දුටු ලස්සනම පුද්ගලයා ඔහු තමා.


ඒ වාර්තාව කඩන්න පුළුවන් කෙනෙක් තවම හමු උනේ නම් නෑ



කතෘ-සෞන්දර්යා මහවිදානගේ


ස්තූතියි.....

Comments

Popular Posts