අතීතේ වැඩක් නෑ බබා
මම කසාද බඳින්න කලින් මවින්ද මුණගැහුන පලවෙනි දවසෙ එයා කිව්වනෙ අතීත කතා වැඩක් නෑ කියලා. ඒ කියන්නෙ එයාගෙ අතීත කතා මටත් වැඩක්නෑ කියන එකනෙ. ඉතින් මම කවදාවත් එයාගෙ පරණ ගෑණු ලමයි ගැන අහලත් නෑ එයා මගෙන් අහලත් නෑ. අනික ඉතින් ඇදගෙන සබන් ගාලම නාගන්න ඕනෙ නෑනෙ.
දවසක් නංගි කෙනෙක් අහල එවල තිබ්බ "අක්කෙ මවින්ද අයියට කලින් ගෑනු ලමයි එහෙම ඉඳල නැද්ද" කියල. මම කිව්ව "දන්නෙ නෑ මම අහල නෑ" කියලා. එයා ඒකට විශ්මයජනක ඉමෝජිය දාල තිබ්බ හින්ද මම හිතුවා මේක විශ්මයජනක දෙයක් වෙන්න ඇති කියල. ඉතින් ඕක මම මවින්දගෙන් අහන්න හිතුවා. ලස්සනට සුදුපාටට හිම වැටිල තිබ්බ ඉරිදා උදේ දුම් දාන තේ එකක් දීල මම ඇහුවා "ඔයාට ගෑනු ලමයි එහෙම කලින් හිටියෙ නැද්ද" කියලා.
හයිබනේට් වෙවී ඉඳල වැරදි වෙලාවක ඇහැරුන ඉත්තෑවෙක් හිම දිහා පුදුමෙන් බලාගෙන ඉන්නව වගේ මගෙ දිහා බලල මෙයා ඇහුවා " මේ හදිස්සියේ මොකද ඕක මතක් උනේ" කියලා. මාත් ඉතින් සාන්තගෙ වයිෆ් වගේ හැඩේට බලල කිව්ව "මට නෙවෙයි, නංගි කෙනෙකුට, මට ඉතින් අනුන්ගෙ කුණු වැඩක් නෑනෙ මෙයා" කියලා. ඇයි දෙයියනේ කිව්වනම් එහෙම "මුලින්ම ඔයා පටන්ගන්නකො" කියලා.
කොහොමහරි මෙයත් තේ එක බිබී ජෝන් ඒබ්රහිම්ගෙ අල්ලපු ගෙදර ඇන්ටිගෙ අඳුරන අක්කගෙ පුතා වගේ ලස්සනට හැඩේට ඉඳගෙන කිව්වා "ඔයාට ඕනෙ මොන උත්තරේද, හිටිය කියල හිටපු ගානද, අනේ මම කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලල නෑ කියලද, මම කෙල්ලො පස්සෙ ගියාට මට එකෙක් කැමති උනේ නෑ කියලද, අපි නෑනෙ ඕවට අපි අවධානෙ දුන්නෙ අධ්යාපනේට කියලද" කියලා.
එහෙම සැලෙන්න ඕනෙද කියල හිතල මම කිව්වා "මොකක්හරි කමක් නෑ ඇත්ත කියන්න" කියලා.
ඉඳල හිටල වචන පාවිච්චි කරන වෙලාවට වචන අසූ හාරදාහක් පාවිච්චි කරන මේ උත්තමයා මෙන්න මෙහෙම ඒක පැහැදිලි කරා මිත්රෝරුනි.
"ඔයාගෙ නංගි ඕක ඇහුවෙ මාව බඳින්න එහෙම හිතාගෙන නෙවෙයිනෙ? එයාට කියන්න මම බැඳල ලමයි දෙන්නෙකුත් ඉන්නවා ලොකු එක්කෙනාට අවුරුදු 10යි, මම හරි ලැජජ බයට හැදිච්ච කොල්ලෙක් කියන්න, ඒත් ඒ නංගිව මතක් කරා කියන්න" කියලා.
ඊට පස්සෙ කිව්වා " ඔයාට කියන්න තියෙන්නෙ ඕකට මම දෙන මොන උත්තරේකටවත් ඔයා සෑහීමකට පත් වෙන්නෙ නෑ කියලා. මම කිව්වොත් ඔව් හිටියා කියලා, ඔයාට ඕනෙ ඒ කව්ද හොයන්න, එයාල ලස්සනද බලන්න, මම මොනවද එයාල එක්ක කරේ හොයන්න, ඊට පස්සෙ ඔයාට සැනසීමක් නෑ ඒක හිතලම. මම කිව්වොත් කොහෙ කෙල්ලොද එකෙක් දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ කියලා, ඔයා කියයි බොරු කියන්න එපා ඔයාට හිටියෙ නෑ කියල මම විශ්වාස කරන්න ඕනෙද කියලා, ඕක දිගට දිගට හොයලා ඔයාගෙ සැනසීමනෙ එතනත් නැතිවෙන්නෙ. අපරාදෙනෙ බබා ඔයාගෙ වචනනෙ නාස්ති වෙන්නෙ, ඔයා එක්ක මම දැන් ඉන්නවනෙ, ඔයා එක්ක ඉන්නකොට හදිස්සියෙවත් මොකක්හරි දැනගත්තොත් එතකොට ඕක අහන්න" කියලා.
එතනින් ඉවරයි කියල හිතුවට ඉවරම උනේ නෑ. ඔටුන්න හම්බවෙයි කියල ඒක දිහා බලාගෙන ඉන්න චාල්ස් වගේ මගෙ දිහා බලල මෙයා ඇහුවනෙ "ඔය ප්රශ්නෙ ඔයාගෙන් ඇහුවොත් කියන උත්තරේ කියලම යන්නකො රත්තරන්" කියලා.
ඔටුන්න කවදාවත් බොට දෙන්නෙ නෑ කියල ඉන්න රැජින වගේ බලලා මම කිව්ව "ඔයා කියපු ටික කොපි පේස්ට් කරගන්න" කියලා.
කතෘ- තිලින ශාමික
Comments
Post a Comment