රිටිගල
මුලින්ම රිටිගල ගියෙ ඉස්කෝලෙ වාර්ශික චාරිකාවකින් ගිය කාලෙ ගැන හරියට මතකයක් නෑ. පස්සෙ දෙවනි පාර ගියෙ ශිෂ්‍ය නායක චාරිකාව විදියට. ඒකට යනකොට දැනගන්න ලැබුන දෙයක් තමා රිටිගල බලන්න යන්න දෙන්නෙ එක සීමාවක් ඇතුලෙ විතරයි එතනින් එහාට යන්න වයිල්ඩ්ලයිෆ් එකේ පර්මිශන් ඕන කියලා. ඕක කරගන්න පුලුවන් කමක් නොතිබුන නිසා ඒ වතාවෙත් පාඩුවෙ ගිහිං ආවා.
ඊට අවුරුදු කීපයකට පස්සෙ කීයක් හරි හම්බ කරන්න ගන්න කොට මගෙ තිබ්බ එක පුරුද්දක් තමා සල්ලි ටිකක් එකතු කරගන ඇවිදින්න යන එක. කැලවල් ගානෙ ඇලවල් ගානෙ දොලවල් ගානෙ එහෙම ඇවිදින එක. එක දවසක් සල්ලිත් සෙට් කරගන යන්නෙ කොහෙද කියලා හිතන් ඉද්දි මතක් වුනා අම්මට හුඩු රිටිගල උඩටම නගින්න තිබ්බනම් මරුනෙ යකෝ කියලා. කීප දෙනෙක්ට කිව්වම උඩ පැනලා හා කියලා තුන් දෙනයි සෙට් උනේ. පර්මිශන් ගන්න යද්දි වයිල්ඩ් ලයිෆ් එකෙන් කියපි අඩුම ගානෙ පහක් වත් ඕන කියලා. තව කොයිතරම් දුරට යන්න බලාපොරොත්තු වෙනවද එකී මෙකී නොකී දෙ අහන්න ගත්තා. මං නිකමට අහල තිබ්බ ඖෂධ කන්ද ගැන පලතුරු කන්ද ගැන එහෙම කියද්දි මොකෙක්ද දිහා බලන්න වගේ මගේ දිහා බලලා එහෙම ඒවා ඔහේ නෑ කඩන් වැටිච්ච පන්සල් තමා බලන්න තියෙන්නෙ කියලා අත්සනක් ගහල දුන්නා. බැලින්නම් මේ හාදය ඇපෘවල් එක දීලා. පස්සෙ නීති මාලාව කියලා කොලේකුත් දීලා යන්න කිව්වා. මේ ටික කිව්වෙ යන එකෙක්ට යන්න ඕනනම් පොඩි ප්‍රොසෙස් එකක් තියනව කියලා දැනගන්න දැං නම් තත්වෙ දන්නෙ නෑ මං මේ කිව්වෙ 2016 2017 කාලෙ වගේ.
ඕං දැං කතාවා පටං ගන්නවා.
උදේ පාන්දර කන්ද නැගලා හවස් වෙද්දි බහිනවා කියලා හිතාගන මොකද කෑම්ප් කරන්න දෙන්න බෑ කියලා කියල තිබ්බ නිසා. හොයාගත්ත විස්තර වල හැටියට මේකෙ කඳු සෙට් එකක් තියනවා බලන්න ඒක් තමා වැදගත්ම. අඩුමගානෙ එකක් හරි නගිනවා කියන අදහසින් තමා ගියෙ. ගමනට මාර්ග උපදේශකයෙක් එකතු කරගන්න ඕනමයි කියලා තිබ්බ නිසා ඒ පැත්තට ගිහින් කාව හරි හොයාගන්නවා කියල හිතන් තමයි ගියෙ. බස් එකේ ගිය හැටි වැඩක් නෑනෙ. ඔන්න කොහොම හරි උදේ 7 විතර වෙද්දි අපි ආවා රිටිගලට නගින්න පටන් ගන්න පහලම හරියට මේ හරියෙ වාහන පාර්ක් කරගන්න ඒවා බලාගන්න වගේම රොටි අනම් මනම් ජාති තියන පොඩි කඩ සෙට් එකක් එහෙම තියෙනවා. එතන ඉස්සරහම තමා පොඩි අඩි පාරකින් වගේ එන්ට්‍රන්ස් එක තියෙන්නෙ(දැං තත්වෙනම් දන්නෙ නෑ. ඒ හරියෙ ) එවෙලෙ තමා එකා දෙන්න ගමේ ඈයො එන්නෙ පොඩි කඩ ටික එහෙම අරින්න. ට්‍රිප් යන එවුන් ඉතින් එන්නෙ දවල් වෙලා කියලා උන් තමයි අපිට කිව්වෙ. පස්සෙ ප්ලේන්ටි ගහලා රොටි කාලා එහෙම ඒ කඩේක ඉදපු කොල්ලෙක්ගෙන් ඇහුවා අයියේ කන්ද නගින්න ආවේ අවසරත් තියෙනවා ගයිඩ් වැඩේට කෙනෙක් හොයාගන්න බැරිද කියලා. මල්ලිලා මොනවා බලන්නද කියලා මූ ඇහුවම අපේ එකෙක් කට තියාගන ඉන්න බැරුවට අයියෙ මහසෝණා ගෙ බෙල්ල කැඩුන ඒරියා එක කොහෙද අහපි. අර මනුස්සය බිම ඉන්දවුනා. මාත් අවුල් වුනා ඒ වැඩේට ටිකක් වෙලා ඉදලා මල්ලි ආයෙ යන්න කට වරද්දගන කැලේට යන්නෙපා කිව්වා. මං කිව්වා අයියේ මුන්ට පිස්සු යන්න ඕන මේතරම් ඇවිල්ලා ආයෙ යන්න නම් බෑ කිව්වා. මූට නොවදිනා වැදුම් වැදලා මනුස්සයෙක් ගැන අහගත්තා. දැං ඉතිං මේ මිනිහා හොයන්න ගියොත් අද කන්ද නගින්න වෙන්නෑ සීන් එකක් මට තේරුනා. පාර කොහොම හරි මතක තියාගන තනියම යනවම කියන සීන් එකේ මං කිව්වා අයියෙ අපි අද උඩම යන්නෙ නෑ හවස ඒ මනුස්සය හොයමු අද ආරම සංකීර්ණය පොකුණු ටික එහෙම බලලා අර උඩ තියන ඔෆිස් එක ගාවින් හැරිලා එන්නම් කියලා. මට ඕක මතක තිබ්බෙ කලින් ඇවිත් තිබ්බ නිසා ඔය කිව්ව ඔෆිස් ගාවින් තමා කැලේ ඇතුලට යන්න තියෙන්නෙ අර කඳු බලන්න එහෙම. කඩේ අයියත් එහෙනම් ඉන් එහා යන්නෙපා නවතින්න නම් අපේ ගෙදරක හැටි බැරියැ ඒකට සල්ලි ඕන නෑ මල්ලි කිව්වා. මොනා වුනත් ඒ පැති වල මිනිස්සු මනුස්සකම අතින් එහෙම සෑහෙන ඉස්සරහින් ඉන්නෙ. හ් කියන්න බැරි වුනා අපි එක බොරුවක් කිව්වා මේ මනුස්සයට. ඒ තමා අපි කැම්පස් එකේ පුරාවිද්‍යාව ඉගන ගනන්නවා ඒකෙ වැඩකටයි ආවෙ කියලා. ඔය ඔක්කොම ජෝගි දාලා ශේප් එකේ අපි අර පොඩි පාර දිගේ ඉස්සරහට යන්න ආවා. ඒ එද්දි මතක් වුනා මොක වුනහ් කැලේකට යද්දි කොළ අත්තක් එල්ලලා මේ කැලේ බාර කෙනෙක් ඉන්නවනම් අවසර ගන්න ඕන කියලා. ඒක ගැන ලොකු තියරියක් නොදැන හිටියට නිකමට හිතලා මං කොළ අතු කෑල්ලක් එල්ලලා නිකමට හිතින් හිතුවා අවුලක් නැතුව මේක කරගන එන්න ඕන කියලා.
අරුන් දෙන්න මට හිනා වෙනෝ යකෝ මූ බලහංකො නිකං නඩේ ගුරා වගේ කියලා. මං මුකුත් නොකියා යමන් කට වහන් කිව්වා. වෙලාව ඕනනම් 8.30 9 වගේ වෙලා ඇති කොහොම හරි යන්න දෙන්නෙ ඔය ටයිම් එකට නිසා ද කොහෙද අපි ඒ වෙනකම් හිටියෙ හරියටම මතක නෑ. හැබැයි එහෙම තමා වුනේ. ටිකක් දුර යනකොට තමා මුල්ම සීන් එක වුනේ. සුදු සරමක් ඇදලා කොන්ඩෙ අර පුවක් ගෙඩිය වගේ බැදගත්ත කලු වයසක මනුස්සයෙක් ගහක් අයිනෙ ඉන්නවා. මට තේරුනේ යන්න අමාරුවෙන් වගේ. එකෙක් ගත්ත ගමන් කියපි අන්න මහසෝණා ගෙ අවතාරෙ කියලා. කට වහන් ඉදං යකෝ කියලා මං කිට්ටු වුනා. මොක වුනත් වයසක මනුස්සයෙක් නිසා. දැක්කම ටිකක් හිතට අමුත්තක් තිබුනට වයසක කෙනෙක් නිසා ඒතරම් ගානක් වුනේ නෑ. මං ඇහැව්වා මාමෙ මුකුත් අවුලක් ද අසනීපයක්ද කියලා. මනුස්සය එක පාරම නැතුව හිමින් සැරේ තමා මගෙ පැත්තට හැරුනේ. මුනත් බය හිතෙන පෙනුමක් තිබ්බෙ නෑ මූන පුරා රැවුල වවලා කොන්ඩෙ රැවුල එහෙමත් සුදු වෙලා. ඇග කලු කිව්වට නිකන් කලු නෙවෙයි ඒක නිකන් නිල් පාර දම් පාට වගේ පාටක්. ඔය පාට මිනිස්සු දැක තියන නිසා මට ගානක් වුනේම නෑ. තව ටිකක් ලගට ගියා ඇහුනෙ නැද්ද බලන්න. මං ආයෙ ඇහුවා මාමා මුකුත් අමාරුවක්ද පහලට එක්ක යන්නද කියලා. මනුස්සයා හිනා වෙලා මහත්තයා කැලේ බලන්නද ඇහුවා. මාත් ඔව් මාමා මේ තව දෙන්නෙක් ඉන්නවා කියලා පෙන්නුවා. උන්ව වැඩි ගානකට ගත්තෙ නැති වුනාට මගෙන් ඇහුවා යන්න පාර දන්නවද් කියලා. මං කිව්වා අපිට යන ඕනනම් මේ මේ තැන් වලට හැබැයි යන්න දන්නෙ අර ඔෆිස් එකක් වගේ තියෙන හරියට විතරයි කියලා.
පස්සෙ හිනා වෙලා මනුස්සය කියපි ඔය මහත්තයා යන්න කියලා. මට ඒක ඒතරම් ඇල්ලුවෙ නෑ අරුන් දෙන්නත් පෙනි පෙනි ඇයි ඔය මහත්තය යන්න කිව්වෙ කියලා. ඒත් යන්න කලින් ආයෙ හැරිලා මාමට යන්න අමාරුවක් නෑනේද වතුර ටිකක් එහෙම දෙන්නද ඇහුවා. ඔන්න ඊට පස්සෙ මේ මනුස්සය නැගිට්ටා අම්මට සිරි වුනේ එතකොට මේ යකා අඩි හයකට වඩා උසයි. ගේමක් නැතුව එහෙම කිව්වෙ මාත් අඩි හයක් උස නිසා. වයස වුනාට ඇගේ තිබ්බෙ තරුණ කාලෙ කට් වෙච්ච ඇඟක පෙනුම. පස්සෙ සරම වලාපට ගහන් මහත්තය යන්නකො. මට ගියෑකි කිව්වා. මං ආයෙ නිකමට ඇහුවා මාමෙ ඔෆිස් එකෙන් උඩට යන්න අවසර තියෙනවා අවුලක් නැද්ද පාර දන්න කෙනෙක් නැතුව කියලා. මනුස්සය හිනා වෙලා මහත්තයලට මෙහෙ එන්න එක එකාගෙ අවසර ඕන නෑ. ගිහිල්ල එන්නකො කිව්වා. මාත් ඉතිං ඒක ඒතරම් ගනන් ගන්නෙ නැතුව කන්ද ඉස්සරහට ගියා නිකමට හැරිලා බලද්දි අර මනුස්සය හිමින් හිමින් පහලට යනවත් දැක්කා. අරුනුත් වැඩි කතාවක් නැතුව පොටෝ කෑලි ගන්න ගමන් ඉස්සරහට ගියා මගට ගිහින් නැවතිලා වතුර ටිකක් එහෙම බීලා එකෙක් කතාව පටන් ගත්ත. මචං අර අංකලයා මට ඇල්ලුවෙ නෑ කිව්වා. අපි ඇහුව මොකො බ්ං ඒ ඒ මනුස්සය උබ එක්ක කතා කලෙත් නෑ නෙ කියලා. නෑ බං පොරගෙ මොඅක්ක් හරි අවුලක් තියෙනව කියලා මූ කියපි. ඕන මගුලක් කියලා එක පිම්මට ගිහින් නැවති නේ අර ආරාම සංකීර්ණය කියන හරියෙ. ඔය ටික මං කලින් දැකලා තිබ්බ නිසා අරුන් දෙන්නට ඕන ඉලව්වක් කරගන්න ඇරලා මං හිටියා වාඩි වෙලා. ඔන්න ඒ අතරම වගේ රිටිගල බලන්න ආව මුල්ම නඩේ ඒඑ හරියට සැපත් වුනා කොහෙ හරි ටියුෂන් ක්ලාස් එකක සෙට් එකක් වගේ කෙල්ලො කොල්ලො හෙනම සීන් ඒකේ. පස්සෙ අපේ උන්වත් ඇදගන ශේප් එකේ උඩට ඇදුනා. පොතේ හැටියට අර ඔෆිස් එකට අවසර පත්‍රය පෙන්නලා එතනින් උඩට නගින්න තමා තිබ්බෙ.
හැබැයි අපි බයෙන් ආවෙ පාර පෙන්නන එකෙක් නැති නිසා ආයෙ හැරෙන්න වෙයි කියලා. හැබැයි පිං වතුනි දෛවයේ සරං කියලා ඒ ඔෆිස් එකේ දොරවල් ඇරලා ආධාර ටිකට් අනම් මනම් සේරම තියෙනවා බලු බල්ලෙක් නෑ. ඒකත් චාන්ස් එක කියලා හිතං මං කිව්වා යමං පට ගාලා උඩට කියලා. මුං නෙවේ හෙල්ලෙන්නේ. මං කිව්වා තොපිට බැරිනම් ඉදපං මං නගිනවා කියලා කොහෙන්ද උඩට යන්න තියෙන්නෙ බැලුවා. අම්මටසිරි වෙන්න එතකොට තමයි මුං දෙන්න ගල් වෙච්ච හේතුව දැක්කේ. අර වයසක උන්දැ මේං ඉන්නවා ටිකක් උඩටවෙන්න අපි දිහා බලාගන. අරුන් දෙන්න හිමින් මතුරනවා මචං මූනම් මනුස්සයෙක් නෙවෙයි වගේ අපිට ගේමක් දෙන්න ඇවිත් ඉන්නෙ නැත්තම් අච්චර දුරක් පහල ඉදපු එකා කොහොමද මෙහාට ආවෙ කියලා. හේතුවක් මං දන්නෙ නෑ. මට මතක මං හිමින් උඩට නගිනව විතරයි. අරුන් දෙන්නත් පස්සෙන් ආවකියල මතකයක් තියෙනවා. පොඩි කම්බි වැටක් තිබ්බා එක තැනකින් පොඩි ගේට්ටුවක් නොවෙන ගේට්ටුවක් වගේ එකක් තිබ්බෙ ඇතුලට යන්න. අනවසරයෙන් ඇතුල්වීම තහනම් කියලා ගහපු කහපාට බෝඩ් එකක් තිබ්බ කියල මතකයි එතන. තාම තියනව ද දන්නෙ නෑ.
කොහොම හරි එතනින් උඩට ඇවිල්ලා අර මනුස්සයා පස්සෙන් අපිත් නැග්ගා කන්ද. නැගලා ඕනනම් කිලෝමීටර් තුනක් වගේ අන්න ඇති අපේ ඩබල හති දානවා. මටත් ලොකුවට නැති වුනත් මහන්සියක් තිබ්බා පැය කීපෙකට පස්සෙ එවෙලෙ තමා මගෙ කට ඇරුනේ මාමා පොඩ්ඩක් ඉදලා යන්ද කියලා. මනුස්සය වචනයක්වත් නොකියා වාඩි වුනා. පොඩි කොටයක් උඩ. අරුම් බෑග් ඇදලා බිස්කට් අනම් මනම් කන්ම ගද්දිම මං කිව්වා කිසිම දෙයක් දාල යන්න එපා අරන් යන්න බැරිනම් මට දීහන් කියලා. ඒකියලා මගෙ ගාව තිබ්බ වතුර බෝතලයක් අරන් මං පොඩ්ඩක් උඩට වෙන්න ඉදපු මනුස්සය ගාවට ගියේ කිසිම දෙයක් නොකියා අපිට පාර පෙන්නන වුනත් ඉදිරිපත් වුන එක ගැන සලකලා. එතකොට තමා මං පොරගෙ මූන ලගට හරියට දැක්කෙ. වසයක් කිව්වට වයසට ගිය ගතියක්ම නෙවෙයි ඒක පට්ට විදියට මහන්සිවෙන මනුස්සයෙක් ගෙ මූනක්. ඇස් දෙකේ වුනත් වෙනසක් තිබ්බ ඒක හරියටම එක්ස්ප්ලේන් කරගන්න බෑ මට. මාමා වතුර ටිකක් බොන්න කියලා බෝතලේ දික් කලාම මනුස්සය මගෙ දිහා බලල හිනාවුනා. මට වතුර ඕන නෑ. ඕක ඉතුරු කරගන්න අර පුතයො දෙන්නට ඕන වෙයි කිව්වා. මං බැලුවා යකෝ මේකා මොනව කියනවද කියලා. ඒත් ඕන මගුලක් කියලා බෝතලේ බෑග් එකට දාගනිද්දි අර මනුස්සයා කතා කලා මහත්තයා මේ හරියෙ තියෙන්නෙ ඖෂධ වර්ග බලාගන්න කිව්වා. මං උඩ බිම බලල ඈ අපි ඒතරං ඉක්ම්නට ආවදැයි ඇහුවම ඒ මනුස්සය හිනා වුනා විතරයි.
අරුං දෙන්නට ඒතරම් ගානක් නොවුනට මං එහා මෙහා ඇවිදලා නිකන් බැලුවා අරුන්ගෙවැඩේ පොටෝ තලන එක. එකපාරම එකෙක් බෙල්ල මිරිකනව වගේ සද්දයක් නිසා මං කැරකිලා බැලුවා මෙන්න යකෝ අර මනුස්සය අපේ එකෙක්ගෙ බෙල්ලෙන් අල්ලගන ඇගත් එක්ක හිරි වැටිලා ගියා මං පැනලා මාමා සමවෙන්නඕන වරදක් වුනා නම් මොකද මේ ඇහුවා. එකපාරම මනුස්සය මගෙ දිහා බලල මුට කියපං මේ මගුල මට මාන්නන්න එන්නෙපා කියල කියපි කැමරාව පෙන්නලා. මට තේරුනා වැඩේ ලෙඩේ කියලා. අනික මහත්තය කියලා කතා කල මනුස්සයා කතා කරපු හැටියට මාත් ටිකක් අවුල් වුනා.
පස්සෙ මිනිහා කියපි ආයෙ යමල්ලා උබලට මෙහෙ බලන දෙයක් නෑ කියලා. මං පින්සෙන්ඩු වුනා අනේ මාමා එහෙම කරන්නෙපා මුට මේක අල්ලන්නෙවත් නැතුව ඉන්න කියනම් එක්කගන යන්න කියලා. මිනිහා නෑ අහන්නෙ පස්සෙ හිත හදාගන පහලට බහින්න හිතන් අරූගෙ පරම්පරාවටම බැන බැන එන්න ගත්තා. ආපු පිලිවෙලම බැලුවම අර මනුස්සයා එන්නෙ මට පස්සෙන්. මටත් දැනෙනවා කෙනෙක්න්පස්සෙන් එනවිත්තිය. ටිකක් දුර ඇවිත් නිකම පස්ස හැරිලා බලද්දි තමා අප්පට හික් ගෑවුනේ. අර යකා පේන්නවත් නෑ. වට පිට බැලුව ඒත් නෑ පොර හොයාගන්න. අරුන් දෙන්නත් රත් වෙලා. ආව පාර ලොකුවට මතක තියාගත්තෙ නෑ අර මනුස්සය ඉන්නවනෙ කියලා. කරගත්ත ගොංකම් තේරුනේ ඊට පස්සෙ ජීවිතේට නොදැක්ක මනුස්සයෙක් පාර පෙන්නයි කියල ඇවිත් කෙලව ගත්ත නේද කියලා මතක් වෙද්දි පෙරහැර ගිහිං. එකෙක් යකා මාරු වෙලා වගේ දඟලනවා. අනිකා නම් පැත්තක් ගහලා බලං ඉන්නවා. ටිකක් සිහියෙන් ඉන්න එකාට කතා කරලා මං කිව්වා මේ ශේප් එකේ යන්න විදියක් බලමු කියලා. හොඳ වෙලාවට මතක් වෙලා ෆෝන් අරං බැලුවට සංතෝසයි පිංවතුනි සිග්නල් තියා ක්ලෝගාර්ඩ් වත් නෑ පේන මානෙක. අනික විහිලුවටවත් නැගලා බලන්න පුලුවන් ගස් රිටිගල කැලේ නෑ. ගිය උන් දන්නවා හයේ හතරෙ උන් කීප දෙනෙක් එකතුවෙලා අත් වැල් බැඳලා තමා ගහක් බදන්න පුලුවන්.
ටිකක් වෙලා බලං ඉද්දි මතක් වුනා වේලිලා ගිය දිය ඇල්ලක් වගේ මගුලක් තිබ්බා කියලා. ඒක එහෙම එකක් වෙන්න ඇති කියලා ගෙස් කලේ මං ම තමා. හොඳ රවුම් ගල් විතරයි තිබ්බෙ ඒක අර අපි ඇතුල් වුන පොඩි ගේට්ටුව වගේ එකට පහලත් එක හරියක හම්බ වුනා වගේ මතකයක් තිබ්බා. මේ මගුල දිගේ පහලට බැස්සනම් වැඩේ හරි නෙ කියලා හිතාගන බැස්සා පහලට ශේප් එකේ. මේක දිගේ ටිකක් දුර යද්දි මට නිකන් තේරුනා පහලට බැහිල්ල කෙසේ වෙතත් එන්න එන්න කැලේ ඇතුලකට ඇදෙනවද කියලා. මේ වෙද්දි හවස තුනට වගේ ඇති. ඕන මගුලක් වෙද්දෙන් කියලා දිගටම පහලට ආවා පැයක් විතර. අරුන් දෙන්නටයි මට යි සෑහෙන්න මහන්සියක් තිබ්බා. හැබැයි අර ගෝතයො දෙන්නා තිබ්බ ලොකුම වතුර බෝතලේ ඒ වෙද්දි ඉවර කරගන තිබ්බා. එතකොට තමා මතක් වුනේ යකෝ අර මිනිහා කිව්වනෙ මට ඕන නෑ මහත්තය අර පුතයො දෙන්නට වතුර ඕන වෙයි කියලා. මොනව වුනත් පොර වෙන දේ දැනගෙන උන්නවාගෙ ෆීලින්ග් එකක් තමා මට ආවේ.
පස්සෙ ඇත්තටම මගෙ බෝතලේ වතුරත් උන් දෙන්නට දෙන්න වුනා . මට තේරුනා එන්න එන්න වැඩේ ලෙඩේ වෙනවා කියලා. මේ වගේ වෙලාවක ඉවසුවට සැනසීම ලැබෙන්නෙ නැතිවුනාට මේකෙන් එලියට එන්න කල්පනාවෙන් වැඩ කරන්න ඕන වගේ එකක් මට හිතුනා. අනික අඩුම ගානෙ අර ඔෆිස් එක වගේ එකේ මොකෙක්ම හරි හිටියනම් අපිව හොයන්න කව හරි එවනව නේද කියලත් හිතුවා. එවෙලාවෙ තමා හිතුනෙ ජීවිතේ මුල්ම වතාවට හිතුවක්කාර වීම ශරීරයට අහිතකරයි කියලා. (ඒක එහෙමයි කියලා හිතුවක්කාර වැඩ අතෑරලා නෑ තවත් කරනවා.) පස්සෙ එකින් එක වෙල තිබ්බ දේවල් කල්පනා කලාම මට මතක් වුනා අර මනුස්සය කිව්වා මහත්තයට යන්න පුලුවන් කියලා. මාව විතරක් විශේෂයක් කරලා ඒ මනුස්සය කිව්වනෙ කියලත් තේරුනා. එහෙමයි කියලා තට්ට තනියම කැලේක යන්න තරම් පට්ට ගටක් මට ආඅවේ නෑ බොරු කියන්න ඕන නෑනෙ. අනික අරුන්ට මොනව හරි කෙලියක් වුනොත් කෙල වෙන්නෙ කෙලවරක ඉදන් කියලත් මතක් වුනා. උන් ටික ටික ඩල් වෙද්දි මාත් ඩවුන් වුනොත් කෙල වෙනවා ඒ නිසා පොඩ්ඩක් ගැම්මක් අරන් අරුන්වත් අරන් යනවමයි කියලා හිතාගත්තා. පට්ට විදියට විස්වාස නොකලත් හිතින් හිතන්න ගත්තා මං මේ කැලෑවට ආවේ කැලෑවට හානියක් කරන්න නෙවෙයි. අපිට ඕන වුනේ මේක බලන්න ඇත්ත නැත්ත හොයන්න. අපි කාටවත් හානියක් කරන්න ආවෙත් නෑ. ඒ නිසා මුං දෙන්නත් අරං එලියට යන්න ඕන කියලා. එහෙම හිතං ඉස්සරහට යන්න ගත්තා. කලුවරත් වැටෙනවා. එහෙම වැඩි දුරක් යන්න නෑ මෙන්න යකෝ අර මනුස්සයා ඉස්සරහා ගලක් උඩ වාඩි වෙලා ඉන්නවා. පොර දැක්ක විතරයි අරුන් දෙන්නා අනේ අංකල් සොරි සොරි ආයේ එහෙම කරන්නෙ නෑ කියලා බෑග් ඇරගෙන ගල් මුල් ගස් වල කොල අනම් මනම් එලියට දාන්න ගත්තා මාත් කට ඇරං බලාගන මං මෙච්ංහර මුං එක්ක ඉදලත් මුං මේවා බෑග් වලට පටවනවා මං දැක්කෙ නෑනෙ. මං මටම බැන ගත්තා. ටිකක් වෙලා බලං ඉදලා අර මනුස්සයා නැගිටලා යන්න ගත්තා මාත් පට ගාල ඉස්සරහට ඇවිත් මාමා සමාවෙන්න ඕන. අරුන් ගත්තා කියලා මං දැක්කෙ නෑ කියලා කිව්වා. මනුස්සය මගෙ දිහා බලලා මහත්තයට මං කිව්වනෙ මහත්තයට යන්න පුලුවන් කියලායි කියල ඉස්සරහට ගියා මාත් පස්සෙන්ම යද්දි අරුන් දෙන්නත් පන දාගන ආව. ඒතරම් දුරක් යන්න නෑ මෙන්න යකෝ ගස් අස්සෙන් පේනවා වාහන නවත්තලා අපි අර වටේ ගහලා කොහෙන් හරි ඇවිල්ලා පහලටම. අරුන් දෙන්න දුවන්න ලෑස්තිය මං කිව්ව ඉදපියව් ටිකක් එකපාර නොයා අපි මෙහෙන් එනවා කවුරුම හරි දැක්කොත් ලෙඩක් වැටෙනවා. කියලා. පස්සෙ අර මනුස්සය නැවතුනා. මහත්තයා මේ මගෙ සීමාව මින් එහාට මහත්තයට බාරයි කිව්වා. මට තේරුනා කිව්වෙ අපේ යක්කු දෙන්න ගැන කියලත්. උන් දෙන්නට හිමින් පලයං කියලා මං අර මනුස්සයගෙ පැත්තට හැරිලා මාමා බොහොම පිං අපි ගිහිල්ලා එන්නම් වරදක් වුනානම් සමාවෙන්න කිව්වා. මනුස්සය හිනා වෙලා මහත්තයට ඕන කියලා හිතෙන වෙලාවක මේ භූමියට පය තියන්න. කාගෙවත් අවසර ඕනත් නෑ. ඒ එන වෙලාවක මං මේ කොහේහරි ඉදීවි කිව්වා. මං මුකුත් නාහ වයසක මනුස්සයෙක් නිසා හිතුව වැදලා ම යනවා කියලා. මං කිට්ටු වෙලා කිවා මං දන්නවා පාර පෙන්නුවට මාමා අපෙන් සල්ලි ගන්නෙත් නෑ ඒත් වැඩිහිටියෙක්ට මං සලකන විදියට මාමාටත් සලකලයි යන්නෙ කියලා. පස්සෙ වැන්දා. අනිත් මිනිස්සු වගේ බුදුසරණයි තෙරුවන්සරණයි වගේ මුකුත්ම කිව්වෙ නෑ. හිනා වුනා විතරයි. පස්ස බලන්න එපා මහත්තය මොන හේතුවකටවත් දැං යන්න කිව්වා. ඇයි කියලත් නාහ ම මං ඉස්සරහට ගියා හිත කිව්වෙම බලපං බලපං කියලා ඒත් එහෙමම එලියටම ගියා ශේප් එකේ උදේ ගිය කඩේ හොයාගන ඒකෙ අයියා හම්බුනා. මිනිහා නිකන් මොක්කුද දිහා බලනව වගේ අපේ දිහා බලලා මල්ලිලා කොහෙද ගියෙ ඇහුවා අපේ එවුන් කටින් පන්නගන්න කලින් මං පැනල අයියෙ මරුවැඩක් වුනා අපි ඉන්න බලන් ආවට අදම යන්න ඕන ටවුන් එකකට ගිහින් දාන්න පුලුවන් ද කියලා. මිනිහා ටිකක් බලන් ඉදලා හරි මං ඇරලන්නම් මගෙ විල් එකේ කියලා අපිට ටිකක් ඉන්න කියලා මිනිහා ගියා. විනඩි පහකින් වගේ පොර රතුපාට ත්‍රීවීල් එකක ඇවිත් නගින්න කියලා. මූ කියපි ටවුන් එකට දාන්නම් මල්ලි ඊට කලින් අපේ ගෙදරට පොඩ්ඩක් යමු ගිහින්මූන කට හෝදගන යන්න කියලා. අපි මලපෙරේතයො වගේ ඉදපු නිසා මාත් හා කිව්වා.
පස්සෙ යමින් ගමන් මං පොරට කතාව මුලසිට කිව්වා මේකෙ අගක් මුලක් හොයාගන්නම ඕන නිසා. පොර ගෙදරට යනකන් කතා කලේම නෑ. ගියාම නාගන එන්නකො මල්ලිල කිවා. අපිත් මාරුවෙන් මාරුවට නාගත්තා. ඇඳුම් එහෙම මාරු කරලා ඇවිල්ලා ඒ අයියගෙ අක්ක හදල දුන්න තේ එකත් බොන ගමන් මේ මනුස්සය කියපි අද යන්නෙපා හවසට පන්සලට එක්ක යන්නම් හෙට උදෙන්ම මං එන්නම් ගන්න මං මගට ගිහිල්ලා දාන්නම් කියලා. මටත් තේරුනා අවුලක් තියෙනවා කියලත්. අරුන් දෙන්නට ඕන එකක් ප්‍රීති වෙසක් වගේ තමා ඒතරමට බය වෙලා ඩල් වෙලා. පස්සෙ හවස හත හතහමාර වෙද්දි ඒ හරියෙන් ටිකක් එහා පන්සලකට ගියා. පොඩ්ඩක් ඉන්න මල්ලිලා කියලා පොර ඇතුලට ගිහින් හාමුදුරුවෝ හම්බ වෙලා ආව. මල්ලිලා එන්නකො කිව්වා අපි යද්දි ලොකු හාමුදුරුවොයි තව පොඩි හාමුදුරුවො කීප නමකුයි ඉන්නවා. පස්සෙ වාඩි වෙන්න කියලා පිරිත් ටිකක් කිව්වා දෙයියන්ට යක්ෂයින්ට හැමෝටම පිං දෙන්න කියලා පිරිත් පැන් ටිකක් බොන්නත් දීලා පිරිත් නූල් ටිකක් කරටත් දැම්මා. දාලා මහත්තයලා බුදු මැදුරෙ ඉස්සරහ කෑල්ලෙන් නිදාගන්නකො. එලි පහලියට යන්න ඕනනම් දැන්ම ගිහින් ආවනම් හොඳා කිව්වා. යන්න තරම් අමාරුවක් නැති නිසාත් අරුන්ව මගඇරලා මේකෙ කතාව අහගන්න ඕන නිසත් උන්ට ගිහින් වරෙන් කියලා මං නැවතුනා. පස්සෙ මං කිව්වා අවසර හාමුදුරුවනෙ මොකක්ද වෙන්නෙ කියලා කියන්න පුලුවන්ද කියලා. හාමුදුරුවො තමයි කතාවෙ අග මුල ගැලපුවෙ.
ඒ විදියටම දාන්නම්.
මහත්තයෝ රිටිගල කියන්නෙ පුරාණ කාලයේ ඉදං අපේ රජවරු යුධ සේනා සංවිධානය කරපු තැනක්. ඒ වගේම පූජා භූමියක්. ඉතිං ඔය කැලෑවෙ අපේ ඉතිහාසය වගේම තව ගොඩක් දේවල් හැංගිලා තියනවා. මහත්තයලට තියා අපිටවත් ඒවා හරියට හොයාගන්න බෑ. හොයාගන යන්න ඉඩත් නෑ.හේතුව තමයි ඒවා ආරක්ෂා වෙන්නඕන නිසා.
මහසෝණා නැත්තම් මෙහෙ සමහරු කියන හැටියට මහසොහොන් අප්පච්චි මහසොහොන් දේවතාවුන් වහන්සේ කියන්නෙ බොහොම බලගතු කෙනෙක්. ඒ වගේම ආරක්ෂයෙක්. පිටින් ආව ගොඩක් අයට ඔය මහත්තය කියන මනුස්ස්සයව මුන ගැහිලා තියෙනවා. ගමේ අය කියන හැටියට ඔය ඒ කිව්ව කෙනා තමා. එහෙම බය වුන ලෙඩ වුන අය ඕන තරම් මේ පන්සලට ගේනවා. හැබැයි මේ තර්ම් කාලෙකට කරදරයක් ඇතුවම වගේ ආවෙ මහතේලා විතරයි. අර මහත්තයටත් අසනීපයක් නෑ හිතේ බය තියෙන්නෙ. උදේට උණ ගනී ඒක බහිනකොට ඔක්කොම හරි. අනික අයිති නැති දේවල් උස්සන් එන්න හොදම නෑ මහත්තයෝ. ඒකනෙ ඔය වෙලා තියෙන්නෙ. මොනව වුනත් ඔය මහත්තය විශේෂ කෙනෙක්. ආයෙ වතාවක මූනට හම්බ වුනා කිව්වත් මං පුදුම වෙන්නෙ නෑ.හිතේ හයිය තියම මිනිහා කොහොමත් පරිස්සම්. අනික මහත්තය ආව චේතනාව හොදයි. නැත්තම් වැඩිය කතා නෑහුනාට නිධන් හාරන්න පවා ආව මිනිස්සු කැලේම වැලලිලා තියෙනවා ඕන තරම්. ඒ ඇර නොආව ගමේ මිනිසෞත් ඉන්නවා. මහත්තයල උදෙන්ම මෙහෙන් පිට වෙන්න. මහත්තයලගෙ අඩවියට ගියාම කරදරයක් නෑ. එතකන් අපි මේක බලාගන්නම් පන්සල් භූමියට අනවශ්‍ය අයට එන්න බෑ. ඔය කියම හැටියට මහත්තයට දැන ගන්න බලාගන්න දේවල් තියේනම් තනියම ඇවිත් බලාගත්තට කමක් නෑ. සමහර දේවල් රටට ලෝකෙට හෙලි නොකලට කමකුත් නෑ.
ඕක තමා උන්වහන්සේ මට කිව්වෙ. අපිත් නිදාගන උදේම ඇහැරලා ඉක්ම්නට පිටත් වුනා. අර ත්‍රීවිඔල් අයියා නම කියන්න බැරි වුනා කුමාර. කුමාර අයියා අපිව කුරුණෑගල ටම ගෙනල්ලයි නැවැත්තුවෙ එතනින් බස් එකට නගිනකොටත් අපේ එකෙක්ට හාමුදුරුවෝ කිවා වගේ සහලෝලා උණ හැබැයි කොහොම හර් පණ පිටින් ආවා අපි.
මේසිද්දියෙදි අදාල පලාතට සංවේදී කාරණා කීපයක්ම මං නොකියා මගෑරලා තමයි ලිව්වෙ. මොකද ඒවා වැරදි විදියට තේරුම් ගත්තොත් අමාරුවෙ වැටෙන්න ඉඩ තියෙන නිසා. අර කිව්ව කෙනාව හම්බවුන දෙවනිවතාව මේ. අවසාන වතාව නෙවෙයි කියලත් මං දන්නවා. හිතේ හයිය තියනවනම් ඕන දේකින් ගැලවෙන්නත් පුලුවන්.
කතෘ - කසුන් බේරුගොඩ
Comments
Post a Comment