හොඳම යෙහෙලිය
රැකියාවට ඇවිත් වසර දෙකකට විතර පස්සේ මම මන්නාරමට යනවා වසරක දුෂ්කර සේවා කාලය සම්පූර්ණ කරන්න. රෝද හයි කරලා තියෙන මහ ලොකු සූට් කේස් එකකුත් අරගෙන ගිණි ගහන අව්ව බැහැගෙන යන වෙලාවේ මම උන් හිටි තැන් අහිමි වෙච්ච සරණාගතයෙක් වගේ බෑග් එකත් උස්සගෙන ඇතුල් උනා අලුත් කාර්යාලේ ගේට්ටුවෙන් ඇතුලට. උස්සගෙන කිව්වට උස්සන්න බැරි තරම් බර බෑග් එක අසමතුලිත පොලොවේ උනත් මම ගියේ රෝද වලින් ඇදගෙන. ගේට්ටුව ඇරගෙන ඇතුල් වෙනකොට පොඩ්ඩක් එහායින් වෙන්න මිදුල අතු ගගා ඉන්නවා ගෑණු ළමයෙක්. එක පාරක් මගේ දිහා බලාන ඉඳලා ආපහු ඉදල ඇරන් අතුගාගෙන අතුගාගෙන යනවා මට පස්ස පැත්ත හරවගෙන. යන්න එන්න තැනක් දන්නේ නැතුව වට පිට බලන කොට හිටපු පිරිමි කෙනෙක්ට මම ආපු කාරණය පැහැදිළි කලාම ඒ මනුස්සයා යාන්තම් මට නතර වෙන්න තියෙන තැන ඇඟිල්ල දික් කරලා පෙන්නුවා. නුහුරු නුපුරුදු පලාතක, අමුතු ගති පැවතුම් තියෙන මිනිස්සු කොට්ඨාසයක් එක්ක තනි උනා වගේ හැඟීමක් මට එකපාරම ඇති උනා. මෙනවා උනත් දැන් බැඳගත්ත බෙරේ ගහන්න ඕන නිසා හැම දේම අමතක කරලා ඇඟපත හෝදගෙන කලින්ම නින්දට ගියේ පහුවදා උදේ නුපුරුදු පරිසරයක වැඩ කරන්න වෙනවා කියන කුකසත් හිතේ තියාගෙනමයි. උදේම ඇඳ පැළඳ ගෙන එත...